![]() |
දෙමුවාත විදුබිම ආරම්භ කොට ඇත්තේ 40 දශකයේ මුල් භාගයේදීය.වතුකරය ආශ්රිත විවිධ ජාතීන්ගේ සම්මිශ්‍රණයක් සහිත ග්‍රාමීය ජනතාවක් වාසය කරන මෙහි 1942 වර්ෂයේදී ළමුන් 10 දෙනෙකුගෙන් මෙම විදුහල ආරම්භ කොට ඇත හෙළ ඉතිහාසයේ පටන් ගමේ පොදු වැඩ වලදී පෙරමුණ ගෙන ක්‍රියා කරන ගමේ පන්සල මෙම උතුම් කාර්යයේ දී ප්‍රමුඛයා ලෙස කටයුතු කළේය. ඒ දෙමුවාත ශාන්ති නිකේතනාරාම විහාරස්ථානයේ එවකට නායක සමිඳුන් වැඩ විසූ අතිපූජ්‍ය පන්නිල පියරතන නායක සමිඳුන් ගේ අනුශාසකත්වය හා මග පෙන්වීම යටතේ ය.මෙම කාර්යයේදී පන්නිල පියරතන නායක සමිඳුන් සමග එක්වූ මැණික් ව්‍යාපාරික එම්.ඒ . බබුන් අප්පුහාමි මහතා,එම්.එල් ජිනදාස වෙද මහතා, ආර්.එම් අන්දෝරිස් සිල්වා මහතා ජී. ඒ. පුංචිඅප්පුහාමි මහතා සහ ලොකු සිංඤෝ උපාසක මහතා යන අය එක්ව පන්සල් වත්ත පාමුල දෙමුවාත ප්‍රධාන මාර්ගය අසල අඩි 30 තිහක් පමණ වන තාවකාලික ගොඩනැගිල්ලක් ඉදි කොට එහි අධ්‍යාපන කටයුතු ආරම්භ කළේය.
ඉන් අනතුරුව එයින් නොනැවතුණු මෙම පිරිස පන්සලට යාබද වර්තමානයේ පාසල පිහිටි තණකොළ වත්ත නැමැති ඉඩම පාසල වෙත වෙන්කොට ගෙන වර්තමානයේ ගුරු නේවාසිකාගාරය සහ විදුහල්පති කාර්යාලය පවත්වාගෙන යන ස්ථානය වන 40x20 ශාලාව ඉදිකර එම ස්ථානයේ සිට පාසලේ ඉගැන්වීම් කටයුතු සිදුකරන ලදී. මෙම පාසලේආරම්භක මුල් ගුරුතුමා බවට පත්වූයේ සේනාරත්න මහතාය . මෙම පාසලට ප්‍රථමයෙන්ම ඇතුළත් වන ලද සිසුවා වූයේ ආර් එම්. සමතපාල මහතාය. ඉන්පසුව එම් ජයසිංහ මහතාත්, එම්.ඒ මහින්දපාල මහතාත්,බී. ඒ. කළු මහතාත්, නෝබට් පෙරේරා මහතාත්,හරමානිස් අප්පුහාමි මහතාත් ,පියසේන මහතාත්, ආතර් මහතාත් ,ඒ ඒ සෝමාවතී මහත්මියත්, පොඩි මැණිකේ මහත්මියත් පිළිවෙලින් පාසලට ඇතුළත් වී ඇත. ආරම්භක අවධියේදී ප්‍රාථමික පාසලක් ලෙස 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා මෙහි පන්ති පවත්වා අධ්‍යාපන කටයුතු සිදු කරගෙනගොස් ඇත. වර්තමානයේ මෙම විදුබිමෙහි විදුහල්පතිවරයා වනුයේ කේ .එම් .විජිත් දේශප්‍රිය මහතාය.
